සමනලයා පද්‍ය පන්තිය රසාස්වාදය ( සමනොල පුෂ්පරාගය මා ළඟට වරෙන් )
ළමා තරුණ, වැඩිහිටි කවරෙකු වූවද සුන්දරත්වයෙන් ආශ්වාදයක් ලැබීමට කැමැත්තෝ වෙති. අජීවී පරිසරයක් සජීවී කරන්නට එහි සැරිසරන සතුන් ගෙන් ලැබෙන්නේ නොමද සහයකි. පරිසරයේ සැරිසරන සතුන් අතර සමනලයා විශේෂයෙන් කුඩා දරුවන්ගේ නෙත් සිත් බැඳ තැබීමට සමත් සුන්දර මෙන්ම අහිංසක ප්‍රාණයකි. එවන් පසුබිමක සිට යාවජීව ළමා පද්‍ය සාහිත්‍ය ස්වර්ණමය යුගයක් වන කොළඹ යුගයේ පළමු කවි පරපුරේ උරුමක් කාරයෙකු වූ මහාදම්පා කවියා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ආනන්ද රාජකරුණා කවියානන් කුඩා ළමයෙකු සමනලයෙකු හට ආදරෙන් අමතන විලාසයක් වස්තු විෂයය කොටගෙන සමනලයා කවි පන්තිය රචනා කර ඇති අයුරු පෙනෙයි.සමනලයා වනාහී කුඩා දරුවන්ගේ ලෝකයෙහි අපූර්ව වූත් විචිත්‍රවත් වූ වස්තුවකි. සැහැල්ලුවෙන් පියා සලන සමනළයා ජීවන සැහැල්ලුව පිළිබඳ අපූරු පාඩමක් කියා දෙයි. සිය අලංකාරයෙන් ස්වභාවික ලෝකය අලංකාරවත් කරන සමනලයා කුඩා ළමයාගේ මිතුරෙකු බවට පත් වීම අතිශයෝක්තියක් නොවේ. ඒ අනුව සමනලයා පද්‍ය පන්තිය තරමක් දුරට පැසුණු භාෂාව ශක්‍යතාවක් සහිත සිසුන් හට සමනලයා පිළිබඳ ආදරණීය හැඟීමක් ඇති කිරීමට සමත් වෙයි.
ළමා මනස පිළිබඳ නිවැරදි අවබෝධයක් සහිතව කවියා සිය පද්‍ය කරණයට ප්‍රවිෂ්ඨ වන්නේ මෙසේය.
"නුඹ තල ලහිරු බබලයි උණුසුම් ය පවන්
බිගු කැල උරයි වන මල් රොන් රසය නවන්
එහි ලොල නොවී පියඹා ආ ගමන මෙවන්
සමනොල මිතුර නුඹටයි මගෙ ආයුබෝවන්"
අහස් කුස හිරු පායා දසත පැතිරමින් ඇත. ගුමු ගුමු නාදය නගන මී මැසි කැළෑ මල් රොන් උරමින් සිටින සුන්දර උදෑසනක විචිත්‍රවත් දසුන් පෙළකින් ඒ පිළිබඳ අගේ නොවී සුරතලාව ආදරෙන් පිළිගනු ලබන්නේ ආයුබෝවන් යන හෘදයංගම බැදීම සහිත යෙදුමිනි. ඒ අනුව සත්ත්ව ලෝකය පිළිබඳ ආදරයක්, කරුණාවක් ජනිත කරවීමෙහිලා කවියා උත්සාහ ගෙන ඇත. අනෙක් අතට මෙය ළමා ලෝකයට ලබාදුන් උපකාරයක් වැන්න. උදෑසන අවදි වී සියලු වැඩ කටයුතු වල නිරත වීමෙන් සමනලයා මෙන් තම දෛනික කටයුතු සාර්ථක ලෙස ඉටු කර ගැනීමට හැකියාව ඇති බව කවියා ව්‍යංගාර්ථයෙන් පැවසූවා නොවේ ද?
සිවුපද කාව්‍ය අනුගමනය කරමින් ලියැවි ඇති මෙම පද්‍ය පන්තිය තුල මුල සහ අග එළිසමය රැකගැනීමට කවියා සමත් වී ඇත. 'නුඹ තල ', 'බිඟු කැල' එහි ලොල, සමනොළ ලෙස මුල එළිසමය ද "පවන්, නුවන්, මෙවන්, ආයුබෝවන්" ලෙස අග එළිසමය ද දැක ගත හැකිය. මේ ඇසුරෙන් අර්ථ රසය යොදාගැනීමට කිවිදුන් උත්සාහ ගෙන ඇත. පද්‍යකරණය තවදුරටත් ඉදිරියට සංවර්ධනය කරන කතුවරයා සමනලයාගේ ගමන් විලාසය පිළිබඳ නව ආකාරයෙන් දක්වයි.
"දඹ රන් සුනිල් හෙබි සිරියල් තලාවක
සුබ සිරි හඳුන්වා සුපුරුදු වෙලාවක
සිඹ සිඹ කුඩා ගස් වල මල් බලා නෙක
නුඹ ආ ගමන සී පද ගායනාවෙක"
කවියා ශිල්පීය අලංකාර වූ සමනලයගෙ ගමන් ලතාව සීපද ගායනාවකට රූපක වත් කරයි. "නුඹ ආ ගමන සී පද ගායනා වෙක" යනුවෙන් කවියාගේ සංකල්පනා සමනලයාගේ ගමන් ලතාව සිහි කරන්නෙකි. මෙහි එන "දඹ රන් සුණු" යනු පිරිසිදු රත්තරන් කුඩුය. සිරියල් යනු කහ පැහැති ඛනිජ විශේෂයකි. සමනල් පියාපතක ඇති රන් පැහැය මිශ්‍රිත කහ පැහැය මුල් පාදයෙන් සංකල්ප රූප ගත මේ සමනලයා තමා පැමිණි මග මලින් මල සෙනෙහසින් සිප ගත් ආකාරය "සිඹ සිඹ" යන පුනරුක්ති යෙන් අර්ථවත් වේ. මේ අනුව මේ හරහා සමනලුන්ගේ හැසිරීම සහ මල් පැණි උරන ආකාරය ඈත සිට බලන්නෙකුට ඇතිකරවන වින්දනය පද්‍ය ගායනාවන් සමග පාදක වන සේ දෝලනය වන අයුරින් ඉදිරිපත් කර ඇති ආකාරය ඉතා රසවත්ය.
"ගන නිල් තණඟ පිනි ටික ටික මැකෙද්දී
සුවිසල් අරුණ දද පෙරඹර දිලෙද්දි
රොනවුල් සුළං රැලි දකුණෙන් වැදෙද්දී
සිරියල් බිමෙක විද නුඹ හිරු නැගෙද්දී"
මෙම කවිය කියවන විට ගන නිල් පැහැති තණපත් අග දිලෙන පිනි කැට උදා හිරු රැසින් කෙමෙන් මැකෙන මද සුළං පහරින් ගත පිනවන පින්බර උදෑසනක රිදී වන් පොලෝ තලයට ඉහළින් පියඹා එන සමනලයෙකුගේ සුන්දර චිත්‍රය මැවී පෙනේ. මේ පරිසරයේ චමත්කාරජනක සිද්ධීන් උචිත රූපක ආදිය යොදා ගනිමින් උදෑසනක අසිරිය වර්ණනා කිරීමට කවියා ගත් උත්සාහය සාර්ථක වී ඇති බැව් පෙනේ. මේ අනුව මෙවැනි චිත්‍ර රූපයකට හැඟීමකට තරම් සම්ප්‍රදායික යෙදුම් මේ හරහා ගලපා ඇති අයුරු මනාව ගම්‍යමාන වේ.
"හේන්වල මුවන් වට පිට බලද්දී
රාන් කුරුල්ලන් තුති ගී කියද්දී
පාන්දර හිරිකඩ වැටෙද්දී
හේන් හඳුනන්ට බැහැ මල් පිපෙද්දී"
මේ හරහා කවියා සිය පද්‍යාවලිය සඳහා ස්වභාව සෞන්දර්යය ද මනාව කැටි කරගෙන ඇත. ඒ තුළින් කුඩා දරුවන්ගේ මනස විනිවිද යන්නට රචකයාට හැකියාව ලැබී ඇත්තා සේය. අලංකාරත්වය. කවියා සිය පද්‍යාවලිය සඳහා ස්භාවසෞන්දර්යය ද, මනාව කැටි කරගෙන ඇත. ඒ තුළින් කුඩා දරුවන්ගේ මනස විනිවිද යන්නට රචකයාට හැකියාව ලැබී ඇත්තා සේය. සමනලයා පැමිණෙන්නේ සුන්දර වූ පරිසරයක් මැදින්ය. එහි ඇති අලංකාරත්වය කවියා දක්වන්නේ මේ පරිදි ය.
අවරින් එළිය වැටීගෙන පැමිණෙන විට පිබිදුණු මුවන් නැවුම් ස්වභාවයකින් සිරි නරඹන ආකාරය දුටු දුටුවන්ගේ නෙත් සිත් වශී කරන්නෙකි. තවත් ආකාරයකින් බලතොත් මේ වට පිට බලන හේන්වල මුවන් කෙසෙල්මුව ද විය හැකිය. මෙහිදී වටපිට බැලීම නම් සුළඟට ලෙළ දීම යැයිද, අදහසක් ගොඩනගා ගැනීමට හැකිවේ. රන් කුරුල්ලන්ගේ තුති ගී කීම වනාහී අරුණලු සමයේ නැගෙන මිහිරි කුරුලු නාදයයි. එයින් සවන පිබිදීම සංකේතවත් කරන අතර තවත් අලුත් දිනයක ආරම්භය කියා කියාපාන්නක් වැනි පාන්දර වැටෙන හීන් හිරිකඩ රසිකයාගේ සියොළඟ සිසිල කින් කිති කවයි. එවන් සමයක සමනලයාට නොපැමිණෙන ලෙස පවසයි. ඒ තරමට පිපී ඇති මල් දුටු දුටුවන් අතරමන් කරන තරම් සමනලයාගේ වාක්‍යෝක්ති අලංකාරයන් භාවිතයෙන් එසේ කී සැටි සුන්දරය. චමත්කාරජනකය. තමා සොයා එන සමනල් මිතුරාගේ ඇති සුවිශේෂිත්වය කවියා සිය කවියට උපයුක්ත කරගෙන ඇත්තේ පාඨක මනසේ සියුම් තැන් මනාව ස්පර්ශ කරමිනි.
"තම තුනු කැලුම් සිලිලෙන් නැහැ වේවි වරෙන්
මල් වාරමක ගතියෙන් නැළවේවී වරෙන්
කවුරුත් නුඹට ආදරයයි එ දැන වරෙන්
සමනොල පුෂ්පරාගය මා ළඟට වරෙන්"
අවසාන වශයෙන් කවියා සමනළයාට ආරාධනා කරයි. එම ආරාධනාව ද අතිශයින් අලංකාර ජනක ආදරණීය අලංකෘත ආදරණීයය. එහෙත් එහි එතරම් නැවුම් බවක් නොදැනුන ද අවසාන පදය ගෙන එන විචිත්‍රවත් බව පද්‍යට ආලෝකයක් සැපයීමට සමත් වෙයි. මේ සඳහා යොදාගත් කාව්‍යෝක්ති මනරම්ය. එය වඩාත් විවෘත කරනුයේ මෙම සමනල පුෂ්පරාගය යන රූපකය නිවැරදි ආකාරයෙන් නිවැරදි ස්ථානයේ භාවිත වූ නිසාය. පුෂ්පරාග වනාහි වටිනා මැණික් වර්ගයක නමකි. එයින් සමනලයා ඇමතීමෙන් පුෂ්පරාග මාණික්‍යයේ වටිනාකම පැහැය සුන්දරත්වය වැනි ගුණාංග සමනලයා වෙත ආරෝපණය වෙයි. මෙවන් කාව්‍යෝක්ති රාශියක් සමනලයා පද්‍ය පන්තියේ හඳුනාගත හැකිය. වක්‍රෝත්ති හා රූපක අලංකාර ඒ අතුරෙන් විශේෂය.
මෙම පද්‍ය පන්තියේ සෑම කවියක් තුළම අපූර්ව සංකල්ප රූපයක් හඳුනාගත හැකිවේ. එලෙසින් ගත්විට සමනලයා කවි පෙළ ළමා මනස පමණක් නොව වැඩිහිටි මනසද රසයෙන් පුරවන රමණීය ප්‍රබන්ධයකි. මෙයාකාරයෙන් ළමා කාව්‍යකරණයේ දක්ෂතා පෙන්වූ ආනන්ද රාජකරුණා මහතා සමනලයා කවි පන්තිය තුළින් සෞන්දර්යකාමි සහ අනෙක් සත්ත්වයන් කෙරෙහි ද සංවේදී මනසක් බිහි කිරීමට සාර්ථක කවි පෙළක් නිමවා ඇත. ළමයාගේ දෘෂ්ටිකෝණයෙන් සමනලයා වර්ණනා කිරීම සත්ව ලෝකය හා මිනිස් ජීවිතය අතර පවතින නොනිමි සබැඳියාව හුවාදැක්වීම වැනි කවියාගේ අනුභූතීන් පද්‍ය පෙළ තුළින් බොහෝ දුරට සාර්ථකව ගම්‍යමාන වී ඇති බව තවදුරටත් පැවසිය යුතුය.
දසුනි මහවත්ත
ආනන්ද කීර්ති මහා විද්‍යාලය
(බුලත්කොහුපිටිය)
Comments